2010/04/10

හඩනු මැන නිදහස - නිවා දැමුණු කලු ගිනි පුපුර


ලෝකෙ වටේම සිද්ධ වෙන වර්ගවාදී ගැටුම් දකින හැම මෙහොතකම මගෙ මතකයට නැගෙන චරිතයක් තමයි බිකෝ කියන්නෙ. ඇත්තටම බිකෝ අප්‍රමාණ මිනිසෙක්.කලු මිනිසා කියන්නෙ පහත් ජීවියක් නෙවෙයි, විශිෂ්ඨත්වයට පත්වීමේ සියලු විභවයන් සහිත සාමාන්‍ය මිනිසෙක් කියන එක ලොවට හඩගා කියූ අප්‍රමාණ මිනිසෙක්. සිය වර්ගයා වෙනුවෙන් අප්‍රමාණ වධ විදල සිරකුටියක සීතල පොළොව මත ජීවිතය හළ සොදුරු මිනිසෙක්.... බිකෝ. බන්ටු ස්ටීව් බිකෝ.

මම මුලින් ම බිකෝව හදුනගන්නෙ සුනිල් මාධවගෙ හඩනු මැන නිදහස පොත කියවල. පස්සේ "CRY FREEDOM" film එක බලල. ඊටත් පස්සෙ අන්තර්ජාලයෙ සැරිසරල.


වර්ණය පාපයක් වූ සාපයට සිය ජීවිතයෙන් වන්දි ගෙවූ හතළිස් එක්වන කලු අප්‍රිකානුවා උන ඔහු වර්ණ භේදය ආගමක් වූ සමාජයකට එරෙහිව අභීතව සටන් වැදුණු දේශපාලනික ක්‍රියාධරයෙක් උනා. සිය පූර්වගාමී විප්ලවීය සගයන් සිරභාරයට ගෙන ඔවුන්ගේ හඩ නිහඩ කළ සමයක එඩිතරව ජාතියේ නියමුවා වූ යුග පුරුෂයෙක් උනා. නිරායුධ දෑතින් යුක්තිය ඉල්ලූ කල නීතියේ සගයන් මොළයට තිළිණ කළ මරණීය තුවාල හේතුවෙන් ලෝකයට අහිමි වූ මේ ආදරණීය කලු දකුණු අප්‍රිකානුවා තවමත් සුවහසක් හදවත් තුළ ජීවමානයි.

1946 දෙසැම්බර් 18 වන දින දකුණු අප්‍රිකාවේ කිං විලියම්ස් කුඩා නගරයේ උපත ලද ස්ටීව් බිකෝ සිය පවුලේ තෙවන දරුවා මෙන් ම දෙවන පිරිමි දරුවා. තමාට අවුරුදු 04ක් තරම් වයසේ දී ම කුඩා බිකෝට සිය පියාගේ සෙනෙහස අයිමි වන්නේ ඔහුගේ මරණය හේතුවෙන්.තමාට පිය සෙනෙහස අහිමි වුවද සමස්ත කලු ජාතිකයන්ට ම පියෙකු බදුව ආදරය කළ මේ සොදුරු මිනිසාගේ දේශපාලන දිවිය ආරම්භ වන්නේ ඉතාමත් තරැණ වියේදි. සිය දේශපාලන ක්‍රියාකාරීත්වය. කෙතරම් දක්ෂ සිසුවකු වුවද බිකෝව ලවඩේල් උසස් පාසලෙන් නෙරපා දැමීමට හේතුවන අතර කෙසේ හෝ සිය අධ්‍යාපන කටයුතු දිගටම පවත්වා ගෙන ගිය බිකෝ අවසානයේ දී වෛද්‍ය විද්‍යලයීය අධ්‍යාපනය හැරයන්නේ වර්ණබේද විරෝධී ව්‍යාපාරයේ පූර්ණ කාලීනයකු වෙමින්.

1968 වසරේ දී බිකෝ සමස්ත දකුණු අප්‍රිකානු කලු ශිෂ්‍ය සංවිධානයේ නිර්මාතෘ සහ ප්‍රථම සභාපති බවට පත්වෙමින් අධිරාජ්‍යවාදී සුදු පාලනයට එරෙහිව දැවැන්ත මතවාදී අරගලයක් දියත් කළ අතර එමගින් කලු විඥානය පිළිබදවසමජය දැනුවත් කිරීමටත් සුදු ජාතිකයන් ඉදිරියේ හීන මානයෙන් සහ බලාපොරොත්තු විරහිත බවින් පෙලුනු සිය වර්ගයා තුළ ආත්ම ශක්තියක් ගොඩ නැගීමේ විශාල මෙහෙවරක් කරන්නටත් යෙදුණා.

බිකෝගේ අරමුණ වූයේ සුදු ජාතිකයන් හැර කලු රජයක් බිහි කිරීම නෙවෙයි. බිකෝ හැම වෙලාවෙම කිව්වෙ අද ඔවුන් කරන දේම කරන්න නම් අපි එතැනට යන්න හදන්නෙ, අපි මේ කරන්නෙ කිසි තේරැමක් නැති වැඩක් කියල. ඔහුට උවමනා උනේ සුදු වෙනුවට කලු රටක් නෙවෙයි. සුදු කලු දෙපිරිසම සම සමව වැඩ කරන යහපත් රටක්. සුන්දර දකුණු අප්‍රිකාවක්. ඔහු ලියපු I WRITE WHAT I LIKE කියන පොතේ ඔහුගෙ අදහස් පැහැදිලිව ගොනු කරල තියෙනව.

බිකෝට රජය කොයි තරම් බය උනාද කියනව නම් ඔහුව තහනම් පුද්ගලයකු බවට පත් කළා. ඔහුට යන්න එන්න අවසර තිබුණෙ තමන්ගෙ නගර සීමාවෙ විතරයි. නමුත් තමන් වටා කැරකෙන පොලීසියෙ ඇස් වහල දුර බැහැර කලු ජාතිකයන්ගෙ රැස්වීම් අමතන්න ඔහු ගියෙ අප්‍රමාණ ධෛර්යයකින්. නමුත් 1977 අගෝස්තු 18 වන දා ඔහු කළ මේ වරද, ඔහුගේ පාර්ශවයෙන් මරණීය වරදක් උනා. එදින රැස්වීමක් අමතා එන අතර අත් අඩංගුවට පත්උන බිකෝ ව නිරුවත් කර දින 19ක් පෝට් එළසබෙත් හි සිර මැදිරියක රදවා තැබුණා. ප්‍රශ්න කරන්නට පෙරාතුව දින 02ක් දම්වැලකින් පුටුවකට ගැට ගහල තිබුණා. මෙහෙයුම ආරම්භ උනා. සිහිසුන්ව සිටි බිකෝව පරීක්ෂා කළ වෛද්‍ය වරයා කිව්වෙ මොළයට තදබල විදියට හානි වෙලා නිසා විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වන්න ඕනෙ කියල. ඒත් ළගම රෝහලට ගෙන යන්න පුළුවන්කම තියෙද්දි ප්‍රතිකාර වලට රැගෙන යන බව අගවල බිකෝව කි.මී. 720ක් එහායින් තිබුණ ප්‍රිටෝරියා වල සිර මැදිරියට ගෙනිච්චා. ඒ රෙද්දක්වත් එලන්නෙ නැතිව ලෑන්ඩ් රෝවර් රථයක පිටිපස්සෙ පටවල.

1977 සැප්තැම්බර් 12 වෙනිද, ඒ අමානුෂික ප්‍රවාහනයෙන් පසුවදා තමන්ගෙ සිර කුටියෙ සීතල පොළොව මත බිකෝ අවසන් හුස්ම හෙළුවෙ අනාගතයෙදි ලියැවෙන වීර දකුණු අප්‍රිකා ඉතිහාස කථාවේ ප්‍රබල පරිච්ඡේදයක් බවට පත් වෙමින්. දකුණු අප්‍රිකාවෙ විතරක් නෙවෙයි, ඉන් සැතපුම් දහස් ගණනක් දුර බැහැර අපේ හිත් වලද නොමැකෙන පිළිරුවක් වෙමින්.

බිකෝ ගැන ලියද්දි නොලියම බැරි කීපදෙනෙක් ම ඉන්නව. ඒ අය බිකෝට දුන්නු ශක්තිය මිල කරන්න බෑ. සුදු ජාතිකයෙක් උන ඩොනල්ඩ් වුඩ්ස් කියන පුවත්පත් කලාවේදියා ඉන් එක්කෙනෙක්. පස්සෙ කාලෙක ඔහුවත් තහනම් පුද්ගලයෙක් කළා. එන්ට්සිකි නම් ඔහුගේ බිරිද දේශපාලනිකව දැක්වූ සහයෝගය බිකෝට ඉමහත් ශක්තියක් උනා. ඒ වගේම වෛද්‍ය මම්පීලා රැම්පේලේ. බිකෝ ගෙ ජීවිතයේ දේශපාලනයේත් තවත් දැවැන්ත චරිතයක්. කලු ජාතිකයන් සදහා ම වන වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කරන්න බිකෝට උදව් වෙන්නේ ඇය.

සේරම ලියන්න ගියොත් මේක තවත් දිග් ගැහෙනව. අන්තිමේ මේ ගැන මගෙ අදහසත් කියලම නවත්තන්නම්.

මට හිතෙන්නෙ වාසනාවන්තම විප්ලවකරුවා තමයි විප්ලවයෙදි මිය යන්නෙ කියල. ඔවුන් මිය යන්නෙ දැවැන්ත අරමුණක් සාක්ෂාත් කරගන්න. ඉතුරු වෙන බොහෝ විප්ලවකරුවො විප්ලවය පාවාදෙන, ප්‍රතිපත්ති පාවාදෙන ආකාරය ඔවුන් දකින්නෙ නෑ. ඒකම වාසනාවක් නෙවෙයිද? පස්සෙ කාලෙක දකුණු අප්‍රිකාවෙ කලු රජයක් බිහිඋනා. එත් බිකෝල බලාපොරොත්තු උන පෙරලිය අදටවත් සිද්දවෙලාද? මේක අදාලවෙන්නෙ දකුණු අප්‍රිකාවට විතරක්ම නෙවෙයි.

5 comments:

  1. එන්කොයි සිකලෙල් ඇෆ්‍රිකා....!!
    ඒ එදා..
    නමුත් අද අප්‍රිකාවට යන විදේශිකයෙකුට අප්‍රිකාවේ තම නිවසේ නිවාස අඩස්සියට පත් වන්නට සිදුවෙනවා හොරුන් සහ මං පහරන්නන් නිසා....ඔවුනුත් කලු පැල්පත් නගරයක වසන්නන්ට නොදෙවෙනි ජීවිතයක් ගත කරන්නට පුරුදු වෙලාලු බියෙන් හා සැකයෙන් :-(
    ඇත්තෙන්ම බිකෝ බලාපොරොත්තුවූ දේ අදටත් අප්‍රිකාවට ලැබිලා නැහැ කියලයි මටත් හිතෙන්නේ..
    ඔව් අප්‍රිකාවට පමණක් නෙවෙයි ලොව බොහෝ තැන් වල් බොහෝ අයට...
    බිකෝ මේ බව දුටුවා නම්..?
    මේ මම ආසම කරන චරිතයක්.. අනිත් කෙනා මාර්ටිං ලූතර් කිංග්
    ඔබට සුභ පැතුම්..!!!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. මේ මගේ බ්ලොග් ලිවීමේ ආරම්භය.

    ReplyDelete
  3. බිකෝලා ගේ අරගලය පාවා දුන්නේ මැන්ඩෙලා සහ පිරිස. ක්‍රිස් හානිව මරලා දැම්මෙත් ඒ පාවා දීමට එරෙහි වුන නිසා.

    ReplyDelete
  4. ස්තුතියි gadfly. ඇත්තටම මැන්ඩෙලාලට මොන තරම් දේවල් කරන්න දේවල් තිබුණද? ඒත් අද වෙනකොට කළු ජාතිකයොත් බෙදිල වෙන්වෙලා මරා ගන්නව. ඒකයි මම කිව්වෙ විප්ලවය අතරතුර මිය යන එක විප්ලවකරුවෙක්ගෙ වාසනාවක් කියල. ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete
  5. නිමන්තිගේ මග පෙන්වීමෙන් මේ ලිපිය ඇහැට වැටුනේ.බලන්න මේ හැම සිදුවීමක්ම ආයේ ආයෙත් ,වෙනත් ආකාරවලින් දැන් අපිට දකින්නට ලැබෙන හැටි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය හුගක් වටිනව.