ඔන්න දෙයියනේ කියල පශ්චාත් උපාධියකුත් ගොඩදාගත්තා. උපාධි ප්‍රධානෝත්සවයක් කියන්නෙ සෑහෙන්න ගාම්භීර උත්සවයක්නෙ. ඉතින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙ ඒක පවත්වන බවත් ඒ සඳහා පිළිවෙලට ඇඳගෙන එන්න කියල දන්වල එවල තිබුණ විතරක් නෙවෙයි, රුපියල් 2500/-කුත් ගෙවන්න නියම කරල තිබුණ. වැඩේ කියන්නෙ උපස්ථිතියෙ ගත්තත් අනුපස්ථිතියෙ ගත්තත් (එතැනට ගිහිල්ල ගත්තත් පස්සෙ වෙලාවක විශ්වවිද්‍යාලයට ගිහිල්ල ගත්තත්) ගානෙ වෙනසක් නෑ.
කොහොම කොහොම හරි කියපු වෙලාවට එතැනට ගියා. මෙන්න ප්‍රධාන ශාලාව ඉදිරිපස පඩි පේළියම ගලවල බිම හාරල තිබුණ. සරසවියෙ හිතවත් ආරක්ෂක නිලධාරී මහත්තයෙක් ඉස්සරහම ඉදල කිව්ව මේ පැත්තෙන් යන්න කියල. මම යනකොට පිරිස පේළියට හිටවල යන්න සූදානම්. මමත් ඉතින් එතැනට සෙට් උනා. දොරකින් ඇතුල් උනා, ඒක නිකං කළුවර ගුහාවක් වගේ. සරසවියෙ උපාධි ප්‍රධානෝත්සව ශාලාව මීට වඩා කොච්චර හොඳද කියල හිතුණ. මොකද ලොකුවට BMICH කිව්වට තිබුණෙ ඒක ඇතුළෙ වෙන පොඩි ශාලාවක. උපාධි ප්‍රධානෝතසවයක් වගේ දෙයකට ඒ වගේ තැනක් (මඩුවක්) ගැලපෙන්නෙ නෑ. ඔය එකතු කරපු 2500/- ටික තියා ගත්තනං විශ්වවිද්‍යාලෙ ශාලාව හොද මට්ටමකට සංවර්ධනය කරගන්න පුළුවන්.
වැඩේ පටන් ගන්න කලින්ම කව්ද ඇවිත් අපිව පිළිඅරගෙන ඒ වෙලාවට කළ යුතු නොකළයුතු දේවල් කිව්ව. ඒ වෙලාවෙ නිල ඡායාරූප ශිල්පියා කිව්ව අහවල් දවසට ඡායාරූප ගන්න විශ්වවිද්‍යාලයට එන්න කියල. ඒ එක්කම විශ්වවිද්‍යාලයෙන් කිව්ව උපාධි සහතිකය දෙන දිනය පසුව දැනුම් දෙන්නම් කියල. ඒ කියන්නෙ තාම ඒ ගැන හිතලවත් නෑ. සල්ලි තියෙන නිසා පස්සෙ ලියුමකින් දන්වයි. බලාගෙන ගියහම ඡායාරූප ශිල්පියාගෙ සූදානමක් තියෙනව.
ඔන්න ආචාර්ය මණ්ඩලේ පෙරහැර ආවා. ඊට පස්සෙ කුලපති පෙරහැර. මුලින්ම කුලපති හාමුදුරුවො උත්සවය ආරම්භ කළා. 2500/-ක් ගත්තට වතුර බෝතලයක්වත් නෑ. මට ඉදිරියෙන් හිටිය කෙනෙකුට කලන්තෙ හැදුනා. අන්තිමට පැය භාගයක් විතර ට්‍රයි කරල තමයි කට්ටිය වතුර ටිකක් හොයා ගත්තෙ.
උපාධිලාභී ලේඛනයෙ අග මෙහෙම තියෙනව."පිරිමිහු ජාතික ඇඳුම හෝ උඩුකබාය සහ ටයි පටිය සහිතව පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳිය යුත්තාහ. කාන්තාවන් විසින් ප්‍රකර්ශයක් සැපයීම විශ්වවිද්‍යාලයෙන් අපේක්ෂිතයි"... තාමත් කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල පැහැදිලියිනෙ.
කාන්තාවන්ට සිදුවන තවත් මදි පුංචිකමක් මේ. විශේෂ දක්ෂතා ඇති අයට පදක්කම් පිරිනමනවනෙ. ඒක කරන්නෙත් කුලපති විසින්. මේ විශ්වවිද්‍යාලයෙ කුලපති හිමිනමක්නෙ. උන් වහන්සෙ පදක්කම කාන්තාවන්ගෙ අතට දීල කරට දාගන්න කියනව. පිරිමින්ට විතරක් කරට දානව. ඇයි? කාන්තාව දෙවන පෙළ සත්වයෙක්ද? ඒ වගේ දේවල් කරන්න බැරි නම් ඒ තනතුරු ගිහියන්ට දීල පැත්තකට වෙන්න ඕනෙ.
කොහොම හරි මේ උත්සවය පුරා තිබුණ මවාපාපු අමුතු ගාම්භීරකම අතරෙ අපිට නියම මනුෂ්‍ය හැසිරීමේ ස්වභාවය පෙන්නුවෙ එක් ආධුනික කතිකාචාර්යවරයෙක්. ඒ පෙරහැරේ ආපහු යන ගමන් කුලපතිතුමාට හපන්න දීල තිබුණු මොනවදෝ තිබුණ පීරිසයට අත ඔබල ඒකෙන් ටිකක් අරන් කටේ ඔබාගත්තු එක. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.
කොහොම හරි වැඩේ ඉවර උනා. ඒත් මම කල්පනා කළේ අර 2500/-ක් ගත්තෙ මොකටද කියල. අපට දුන්නු විස්තර පොත් 02ටයි මංජුසාවටයි රු.250/-ක්වත් යන්නෙ නෑ වැඩිපුර ගෙව්වත්. උපාධිධාරීන් 402ක් හිටිය. (ප්‍රථම උපාධිය ගත්ත අයගෙන් කීයක් ගත්තද දන්නෙ නම් නැහැ.)කොහොම උනත් කොහොමද කුට්ටිය? ඒ මුදල වියදම් කළේ ශාලාවට නම් ඒක අපරාදයක්. තමන්ගෙ විශ්වවිද්‍යාලයෙ අභිමානය තියෙන්නෙ ඒක ඇතුළෙ මිසක් BMICH එක ඇතුළෙ නෙවෙයි.